අධ්‍යක්ෂතුමිය ගේ පණිවුඩය

සුපිරි රෝහල්, සාප්පු සංකීර්ණ, ඉහල පෙලේ පාසල්, වරාය, ගුවන් තොටුපල ආදී සියළු පහසුකම් වලින් අනූන වුව ද බස්නාහිර පළාත යනු පිළිසරණය අවශ්‍ය, අනාථ, අසරණභාවයෙන් පරිපීඩිත මිනිසුන්ගෙන් ද නොඅඩු, දිවයිනේ වැඩිම ජනගහණයක් වෙසෙන පළාතයි. එනිසාම බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කිරීමට ලැබීම, හුදෙක් තනතුරකට වඩා රට වෙනුවෙන් අත්‍යාවශ්‍ය මෙහෙවරක් ඉටු කිරීමට ලද අගනා අවස්ථාවක් ලෙස මම සලකමි. මා පමණක් නොව මෙම දෙපාර්තමේන්තුවට අනුබද්ධව සේවය කරන සමස්ථ කාර්යමණ්ඩලයම මෙම ආකල්පය පෙරදැරිව කටයුතු කරන බව ද මම දනිමි.

අසීමාන්තික වපසරියකින් යුත් සමාජ සේවා ක්ෂේත්‍රයේ නව ඉම් සොයා යමින්, නව නිර්මාණාත්මක වැඩසටහන් නව ආරකින් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින අප දෙපාර්තමේන්තුව මේ වන විට සමාජ ගැටළු විසඳීමේ නිවාරණාත්මක ප්‍රවේශයකට අවතීර්ණව සිටියි. අපගේ වැඩපිළිවෙල පිළිබඳව පැහැදුනු දේශපාලන අධිකාරීන්, අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම සමාජ සේවය සඳහා කැප වූ බොහෝ ස්වේච්ඡා සංවිධාන ආදිය ද අපගේ ගමනට අත්වැලක් වෙමින් අප හා එක්ව සිටීම දෙපාර්තමේන්තුවට අයෝමය ශක්තියකි.

එතෙකුදු වුවත් අපගේ කර්තව්‍යයන් සම්බන්ධයෙන් දැනුවත් නොවූ, එහෙත් සමාජ සුබසාධනය සහ සමාජ ගැටළු විසඳීම යන අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන දෙස් විදෙස් සංවිධාන සහ ආයතන අතිවිශාල සංඛ්‍යාවක් පවතින බැව් මෙහිලා සඳහන් කළ යුතුය. එවැන්නන්හට අප දෙපාර්තමේන්තුව සහ එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි පණිවුඩයක් රැගෙන යාම, දෙපාර්තමේන්තුව සඳහා මෙවන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ එක් ප්‍රධාන අරමුණකි.

සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වූ අප නිලධාරී මණ්ඩලය මෙම තාක්ෂණික මෙවලම නිසි පරිදි හසුරුවමින් තම කටයුතු පහසු කර ගැනීමත් සමගම දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය ද සලසනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි. සමාජය සුවපත් කිරීමත් වඩාත් යහපත් සමාජයක් ගොඩනැංවීමත් යන ඔබටත් අපටත් පොදු වූ ඒ සිහිනය සැබෑවක් කර ගැනීමට නම් නොපමාව අප හා එක් වන ලෙස මම ඔබට සෙනෙහසින් ආරාධනා කරමි.