සඳ තවම තරුණයි

දකුණු ආසියානු කලාපය තුළ ඉතා වේගයෙන්ම වයස් ගත වන ජනගහනයක් සහිත රටක් ‍ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇත. වයස්ගත ජනගහනය වැඩිවීමේ මෙම ප්‍රවණතාව සමාජයේ විවිධ අංශ කෙරෙහි මෙන්ම එම ප්‍රජාව කෙරෙහිද විවිධ ආකාරයේ ගැටළු නිර්මාණය වීමට හේතුවේ. මෙම තත්ත්වයන් නිවැරදිව අධ්‍යනය කොට නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සෑම කේෂ්ත්‍රයකම වගකීමක් ලෙස සැලකිය යුතුය. මේ සඳහා එක් ප්‍රවේශයක් ලෙස බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු‍ව මඟින් කාලීන වැදගත් කමක් සහිත වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නිර්මාණ කුසලතා හඳුනා ගනිමින් එම කුසලතා සංවර්ධනය කොට සුවිශේෂී නිර්මාණ කාර්යයන් සඳහා දායක කර ගැනිමත් එම නිර්මාණ ප්‍රදර්ශනය කිරීම තුළින් ප්‍රජාව තුළ සහකම්පනය ඇති කිරීමත් මෙම සද්කාර්යයේ මූලික පරමාර්ථය වේ.

රචනය,ගායනය,නර්තනය,සංගිතය, චිත්‍රයික නිරූපණය, ඇදුම් නිර්මාණය, රංගනය මේ ආදි කුසලතා රාශියක සංකලනයෙන් බිහිකෙරෙන එමෙන්ම සාමුහික ව්‍යායාමයක් හා සජිවී කලා මාධ්‍යයක් වන නාට්‍යය හා රංග කලාව උක්ත අරමුණ සඳහා සුදුසුම ප්‍රවේශය වශයෙන් තෝරා ගැනීමට නිගමනය වී තිබේ.

ඒ අනුව වැඩිහිටියන් හට නාට්‍යය හා රංග කලා විෂයෙහි පරිචය ලබා දෙමින් නාට්‍යය රස වින්දනයේ, නාට්‍යය රංගනයේ හා නාට්‍යය නිර්මාණයේ අවස්ථාව ඔවුන් සඳහා උදා කර දෙමින් ඉහත පරමාර්ථ සාධනය අපේක්ෂිතය. මේ ආකාරයෙන් බස්නාහිර පළාතේ සමස්ත වැඩිහිටි ප්‍රජාව තුළ නාට්‍යය රසවින්දනයෙන්,නාට්‍යය රංගනයෙන් හා නාට්‍යය නිර්මාණයෙන් පිබිදීමක් ඇති කරමින් විවිධ සමාජ ප්‍රවනතා හා සමාජ ප්‍රශ්න පරිණත දෘෂ්ටි කෝණයෙන් විමසන මෙතෙක් මෙරට නොවු විරූ වැඩිහිටි නාට්‍යය කලාවක් බිහි වීම දිගු කාලින සිහිනයක් ලෙස මෙම ව්‍යාපෘතිය හා බැදී තිබේ.

අරමුුණු

  • බස්නාහිර පළාත් පුරා විසිරි සිටින වැඩිහිටියන්ගේ රංගන හා නාට්‍ය නිර්මාණාත්මක කුසලතා හඳුනා ගැනීම.
  • සහභාගීවන්නන් නාට්‍ය හා රංග කලාවට රුචි වූ ග්‍රාමීය කමිටු මට්ටමින් නාට්‍ය නිෂ්පාදනය,ගීත රචනය, නර්තනය හා සම්බන්ධ වුවන් වන බැවින් වැඩමුළුවේ පුහුණුවෙන් පසු විධිමත්ව එම කටයුතු වල නිරත වීම හා ග්‍රාමීය වැඩිහිටි කමිටුවලට ඔවුන් ශක්තියක් වීම.
  • වර්ෂ 2025 දී ශ්‍රී ලංකාව තුළ වැඩි වන වැඩිහිටි ජනගහනය හා සමගාමීව ඉහල යන වැඩිහිටි ප්‍රජාව සම්බන්ද ගැටළු පිළිබඳ  සමස්ථ සමාජයේ අවධානය යොමු කර ගැනීම.
  • උසස් රසවින්දන කලාව පිළිබඳ වර්තමාන වැඩිහිටි, තරුණ හා ළමා පරපුර දැනුවත් කිරීම.